Showing posts with label රාවණ සීතා. Show all posts
Showing posts with label රාවණ සීතා. Show all posts

සිංහලයින් පැවතෙන්නේ විජයගෙන්ද?රාවණගෙන්ද?

Sunday, June 6, 2010

මා රාවණ චරිතය ගැන ලිව්වෙ මාගේ මතකයේ තැන්පත් වී තිබූ දේවල් එකතු කිරීමෙනි.මේ හා සබැදි ලිපි කිහිපයක් හා පොත් දෙකක් පමණ කියවා ඇත්තෙමි.
එසේ වුවත් අපේ අනන්‍යතාවය ලොවට හෙලි කිරීමටත්,ලාංකීය ඉතිහාසයේ අසම්පූර්ණ තැන් පිරවීමටත් මහත් කැමැත්තෙන් සිටියෙමි.
ඔබ සියලු දෙනාගේ අදහස් වලින් පෙනෙන්නේ ඔබත් මා මෙන්ම ලාංකීය අනන්‍යතාවය වෙනුවෙන් ඉමහත් උනන්දුවක් දක්වන බවයි.
ඔබ සියලු දෙනාට මම හිස නමා ආචාර කරමි.


පිටස්තරයාගේ සහ ඉන්දරේගේ කමෙන්‍ටුවෙන් පෙනෙන්නේ ඔවුහුත් මේ සම්බන්ධව යමක් දන්නා බවයි.
එකල පැවතී යයි සිතන ගෝත්‍ර 3 පිලිබද ඔබේ අදහස නිවරදි විය හැකි යයි මාද සිතමි.
සිංහල නම් වචනය පිලිබද ඔබ සියලු දෙනා පෙන්වා දුන් කරුණ නැවත විග්‍රහ කිරීම උච්ත යයි සිතමි.
කෙසේ වුවත් සිංහල ලෙස අද හදුන්වන ජන කොටස සැබවින්ම පැවත එනුයේ නැතහොත් ආරම්භ වූයේ විජයගෙන්මද?එසේ නම් අද සිංහල ලෙස හදුන්වන සියලු දෙනා පැවත එනුයේ මහා වොංසය විසින්ම කියන පරිදි එදා මහා තක්කඩියකු වූ,වංචාකාරයකු වූ,තම රටින්ද නෙරපා දැමූ විජය නම් දාමරිකයාගෙන්ම පමණක්ද?
එසේ නම් එදා සිටි රාවණ යුගයේ පටන් මෙරට ස්වදෙසිකයින්ව සිටි අනෙක් ගෝත්‍ර 3 ජනයාට සිදු වූයේ කුමක්ද?මහා වංසය නම් ඔවුන් සියලු දෙනා ඝාතනය කර ඉතා ලෙහෙසියෙන්ම එම පරිච්චේදය අවසන් කරයි.
 විජය එක් ‍රැයකින් ඝාතනය කළේ යක්ෂ ගෝත්‍රිකයින්වය.නාග සහ දේව ගෝත්‍රිකයින්ට එසේ සිදු නොවන්නට ඇත.වඩා ප්‍රායෝගික වන්නේද එයමය.මන්ද,එක් ‍රැයකින් රටක සිටින සියලු ගොත්‍රිකයින් එකෙක් නැර සමූල ඝාතනය කිරීම නොවිය හැක්කකි.අනෙක නම් ගෝත්‍ර තුනක් එකවිට එකතැන ‍රැස්වීම ගෝත්‍රවාදය පිළිබද බොහෝ බරපතල ලෙස අදද සලකන අප රට වැනි රටකින් අතීතයේවත් සිදු වීයයි බලාපොරොත්තු විය නොහැකි බව පෙනේ.


සිංහලයින් රාවණ රජුගෙන් පැවත එන බවට මාගේ අදහස ඉපදුනේ එතැනය.යක්ෂ ගොත්‍රිකයින් සමූල ඝාතනය කළේ යයි සිතුවද(මොහොතකට පමණක්) ඉතිරි නාග සහ දේව ගෝත්‍රිකයින් තම පරම්පරාවන් එලෙසම පවත්වාගෙන විත් ඇත.නියම සිංහලයින් නම් ඔවුන්ය.පසුව විජයගේ උදවිය සමග කලවම් වීමෙන් අද සිංහලයින් බිහි වී ඇති බව සිතීම කෙතරම් දුරට නිවරදි යයි තීරණය කිරීම තවත් පර්යේෂණ වලින් අනතුරුව සිදු කල යුත්තක් බව පිලිගනිමි.


ඔබ සියලු දෙනාගේ අදහස් වලට මාගේ ස්තුතිය.ඔබ කී ග්‍රන්ථ පරිසීලනයට උත්සාහ කරන්නෙමි.
ඔබගේ අදහස් මෙම මතය ලොවට ගෙනයාමටත්,සත්‍ය එලිකිරීමටත් මහත් පිටිවහලක් බව නැවත නැවතත් ගවුරවයෙන් සිහිපත් කරමි.

එම්බල....මම වෙමි රාවණ ( ඉතිහාසයේ ලොකුම මඩ ගැසීම)

Saturday, June 5, 2010

මම ලංකාපුරයේ රාවණ නම් රජුගේ අවතාරය වෙමි.මෙතෙක් කල් මා හට පිටදේසක්කාරයින් පමණක් නොව මාගෙන්ම පැවත එන්නා වූ ලංකාපුරයේ මාගේ දරුවන් ද අපහාස කරන ආකාරය බලා සිටියෙමි.දරුවන්ගේ නොමනා ක්‍රියාවන් නිසා දෙමව්පියන්ට ඇතිවන දුක දරාගෙන මම බලා සිටියෙමි.පිටදෙසුවන්ගේ බසට විචාරයෙන් තොරව හිස නමන,උන් සමග එක් වී මගේ චරිතය ඝාතනය කරන මාගේම දරුවන් දෙස අනුකම්පාවෙන් බලා සිටියෙමි.
මාගෙන් පැවත එන මාගේ දරුවන් හින්දු දේසයෙන් පැමිනි විජයගෙන් පැවත එන බව කියනු අසමින් බලා සිටියෙමි.උතුම් වූ බුදු දහම පවතින රටේ බුදුන්ගේ අනුසාසනා නොසලකමින් කියන්නා කෙසේ කීවත් බුද්ධියෙන් නොවිමසා එයම පිලිගෙනීමට තරම් බුද්ධි හීන වූ මාගේ දරුවන් දෙස සෝකයෙන් බලා සිටියෙමි.
නමුත්............. සත්‍ය පෙන්වා දීමට කාලය එලබ තිබේ.මාගේ බසට කන්දෙව.බුද්ධියෙන් විමසා සත්‍ය පසක් කර ගනුව.මෙතැන් සිට නුබලාගෙ දැනගැනීම පිණිස මගේ කතාව පවසමි.


රාවණ නම් වූ මා ලංකාපුරයේ රජ වූ දින පටන් මාගේ රාජ්‍යය පුලුල් කර ගනිමින් අසල්වැසි රටවලද බලය පතුරවමින් මුලු ලොවින් විසාල ප්‍රමාණයක් මා සතු කර ගැනීමට මා හට හැකිවූයේ මා විසින් පුහුනු කළ යන්ත්‍ර මන්ත්‍ර සාස්ත්‍රය මෙන්ම දුෂ්කර ව්‍රත වලින් මා ලබා ගත් අපරිමිත බලයේද උපකාරය නිසාවෙනි.එම බලය ගැන නුබලා දන්නේ ස්වල්පයක් වුවත් එය ප්‍රමාණවත්ය.මා තරුණ කල පුෂ්පක විමාණයේ නැගී මාගේ යටත් රාජ්‍යයන් බැලීමට යන ගමනකදී හින්දු දේසයේ සිටි අති සුන්දර තරුණ ළදක් දුටිමි.ඇය දු‍ටු ගමන් මා හට ඇය පිළිබද බලවත් සෙනෙහසක් ඉපදිණි.මා ඇය වෙත ගොස් මා කව්දැයි හදුන්වා දී ඇය පිලිබද තොරතුරු විමසූ කල ඇයද එරට රජුගේ දියණිය වන සීතා බව දැන ගත්තෙමි.මෙලෙස කලක් පුරාවට අප දෙදෙනා හමු වූ අතර මාගේ ආලය ඇයට පල කල කල්හි ඇයද මා හට ආලය කරන බව දැනගත් මා ඇය ආවාහ කර ගැනීමට ඇගේ දෙමාපිය අවසර ගැනීමට යාමට සූදානම් වූයෙමි.නමුත් ඇය පැවසුවේ මා සිත සසල කල කතාවකි.මාගේ බල පරාක්‍රමය ගැන ඉරිසියාවෙන් පසුවන ඇයගේ පියරජු ඇයව මා හට පාවා දීමට කිසිසේත් කැමති නොවන බව දැනගන්නට ලැබිණි.මා යක්ෂ ගෝත්‍රිකයෙකු වීමද මෙයට හේතුවක් විය,
මෙය මාගේ ගර්වයට සිදු වූ බරපතල අවමානයක් ලෙස මට පෙනිනි.මාගේ ප්‍රියාවියගේ වැලැක්වීමද නොතකා ඇගේ පිය රජු වෙත ගොස් මා ඇය අත ගැනීමට කැමති බව ප්‍රකාස කලෙමි.නමුත් ඇයව දැනටමත් වෙනත් රජ කුමරුවකට තීන්දු කර ඇති බව ඇසූ මාගේ රුධිරය කෝප වුවත් ඉවසීමෙන් සිට සීතාවගෙන් මේ ගැන විමසූ කල ඇය මේ පිලිබද කිසිවක් නොදන්න බව දැන ගතිමි.ඇය මා හට ආලය කරන බැවින් ඇයට මා හා ලංකා පුරයට යාමට කතා කලද තම දෙමව්පියන්ට එරෙහිව යා නොහැකි බව පැවසූ නිසා ඇයට ඇති ආලය නිසාම ඇයගේ තීරණයට බධා නොකර මහත් දුකකින් මාගේ රාජ්‍ය වෙත පිටත් වූයෙමි.සීතාවද මහත් දුකින් කල් ගත කරන බව දැනගත් මා හින්දු දේසය සුනු විසුනු කර දමා හේ ඇය ‍රැගෙන ඒමට සූදානම් වුවත් මාගේ ප්‍රියාවියගේ ආයාචනය නිසාවෙන් එයද මනසින් බැහැර කලෙමි.


කෙසේ වුවත් කාලයත් සමග සීතාවට සිදුවූයේ තම දෙමව්පිය අභිමතයට හිස නමා රාම කුමරු හා විවාහ වීමටයි.


කාලය ගෙවී ගියේ මා සිත තනිකමෙන් පෙලමින් වුවත් සීතාවන් පිළිබද ආලය මා සිත පුරාවටම ‍රැදී තිබුනේ එය මා සිතේ ඇති වූ සත්‍ය ප්‍රේමය නිසාවෙනි.සීතාව ද විවාහයෙන් පසු නියම බිරිදක මෙන් තම ස්වාමියාට යුතුකම් ඉ‍ටු කරමින් සිටියද ඇය මාහා තිබූ පෙම් සබදතාවය ගැන දැන සිටි රාමා සහ ඔහුගේ නැදැයින්ගෙන් ඇයට යම් යම් තරව‍ටු සහ සිත් රිදවීම් සිදුවන බව මම දැන ගත්තෙමි.


 මෙය මා හට වාවන්නැතිව ගියේ මා ඇයගේ සතුට වෙනුවෙන් කල කැප කිරීමේ ප්‍රතිපල නොමැති බව හැගීමෙනි.මේ  ආසන්න කාලයකම මාගේ සුපර්නිකා නැගනියට රාම සහ ඔහුගේ සොහොයුරා අඩන්තේට්ටම් කර තිබුනේ මා සමග ඇති තරහටමය.එම තරහට හේතු නුබලාට වැටහෙනු ඇතැයි සිතමි.මෙය මාගේ ඉවසීම නිවට කමකැයි ඔවුන් වටහාගෙන සිටීමකි.එබැවින් මා සීතා හමුවට ගොස් ඇයගේ දුක්ඛිත ජීවිතයෙන් ඇයව මුදවා මාගේ රාජ්‍යයට ‍රැගෙනයාමට ඇගේ කැමැත්ත විමසූ කල ඇය එයට කැමති වූයේ රාම ඇතුලු පිරිස ඇය හට නිරපරාදේ කළ අපහාස,අස්ථාන චෝදනා ඉවසනු බැරි තැනමය.රාමා ඇතුලු පරපුරම සුනු විසුනු කිරීමට මා සූදානම් වුවද එවරද සීතාවගේ ඇවිටිල්ල නිසාම එය අතහැර දැමුවෙමි.


ඇයගේ කැමැත්ත මත ‍රැගෙන ආ ඇයට සියලු සැප සම්පත් ලබා දුන්නද,ඇය මාගේ පෙර පෙම්වතිය වූවද,ඇය තවමත් රාමාගේ බිරිද නිසා මා ඇයව ස්පර්ස කිරීමවත් නොකලෙමි.එය මාගේ දුර්වලකමක්වත්,වෙන අයකුගේ සාපයක්වත් නිසා නොව.වෙනකෙකුගේ බිරිදක් ස්පර්ස කිරීම පවා මාගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවිනි.


රාමා ඇතුලු සත්ව හමුදාවක් මාහා සටන් වැදීමට පැමිණි බව නුබලා දනී.ඔවුන් විනාස කර දැමීම මාහට එතරම් කාරියක් නොවුනත් මා සිහිනෙන්වත් නොසිතූ දෙයක් සිදු විය.එනම් මාගේම සොහොයුරු විභීෂණ මාගේ රාජ්‍ය ලබා ගැනීමට ආසාවෙන් සිට තිබීමයි.මෙය මා හට වැටහෙන විට බොහෝ ප්‍රමාද වී තිබිණි.සටනේදී මාගේම සොයුරා මා පාවා දෙමින් සියලු යුධ රහස් එලි කරමින් මාගේ සේනාව විනාසයට පමුනුවන ලදී.අවසානයේ මා රවටා රාම ඇතුලු පිරිසට මා පාවා දීම නිසා මාගේ මරණය සිදු විය.


මා මියෙන්නට පෙර සීතාවගෙන් මා පොරොන්දුවක් ලබ ගතිමි.එනම් ඇය මා සමග ලංකාපුරයට පැමිණියේ ඇගේ කිසිම කැමැත්තකින් නොවන බව සියල්ලන්ට පවසන ලෙසත් මා ඇයව පැහැරගෙන ආ බව කියන ලෙසත්ය.
මා එසේ නොකලේ නම් අද ලෝ වාසීන් ඇයට පතිවත ‍රැකි පරම ගැහැණියක් ලෙස නොසලකනු ඇත.රාමාගෙන් ඇයට පෙරට වඩා දුක් ගැහට ලැබෙනු ඇත.සීතා නම් චරිතය පිරිසිදු බවේ පරම සංකේතය ලෙස නොසලකනු ඇත.නමුත් මා දිවි හිමියෙන් පෙම් කල ඒ කාන්තාවට දුකක් අපහාසයක් පැමිණෙනු දැකීම මාගේ මරණින් පසුවවත් මා නොරුස්සන්නකි.මන්ද සැබැ ආලය නම් අනෙකාගේ සැපත,සතුට,යහපත වෙනුවෙන් හැකි සැම දෙයම කැප කිරීම වන බැවිනි.මම ඇයට හදවතින්ම ආලය කල බැවිනි.


මාගෙන් පසු ලංකා රාජ්‍යය බාරගත් මා සොයුරු තම වර්ගයාට එරෙහිව යන පරගැති ගමන ලොවට හදුන්වා දුනි.එතැන් පටන් ඔවුන් හා එක්ව මාගේ ජනයාම මා හට එරෙහිව මෙහයවන්නට විණි.එහි ප්‍රතිපල ලෙස වාල්මිකී නම් Indian වන්දිබට්ටයා විසින් රචිත රාමායණය නම් අසත්‍ය කාව්‍ය මගින් ඔවුන්ගේ නිර්ලජ්ජී බව වසා ගන්නට සාර්ථක උත්සාහයක් ගෙන තිබේ.එදා මාගේ සොයුරා ඇරබූ දීන ගතිය හිස මුදුනින් පිලි ගෙන සිටින වත්මන් ලංකාපුර වාසීන්ද මා දුෂ්ටයකු ලෙස අපහාස කරනයුරු මාගේ අවතාරයට වුවද දරා ගත නොහැකි සෝකයකි.
සිහලුනේ...මාගේ දරුවනේ...දැන්වත් අවදි වවු....තොපගේ අනන්‍ය බව ‍රැක ගනිව්..පරගැති බව දුරු කරව්.....තමන්ගේ දෙය අගයව්.මනසින් උසස් නියම මිනිසුන් වෙව්.බුදුන්ගේ මග ගනිව්....නුබලා මහා රාවණ රජුගේ දරුවන් බව ලොවටම පෙන්වව්....ලොව දිනව්...
ජය සිරි රාවණ!

 
believer - by Templates para novo blogger