සිංහලයින් පැවතෙන්නේ විජයගෙන්ද?රාවණගෙන්ද?

Sunday, June 6, 2010

මා රාවණ චරිතය ගැන ලිව්වෙ මාගේ මතකයේ තැන්පත් වී තිබූ දේවල් එකතු කිරීමෙනි.මේ හා සබැදි ලිපි කිහිපයක් හා පොත් දෙකක් පමණ කියවා ඇත්තෙමි.
එසේ වුවත් අපේ අනන්‍යතාවය ලොවට හෙලි කිරීමටත්,ලාංකීය ඉතිහාසයේ අසම්පූර්ණ තැන් පිරවීමටත් මහත් කැමැත්තෙන් සිටියෙමි.
ඔබ සියලු දෙනාගේ අදහස් වලින් පෙනෙන්නේ ඔබත් මා මෙන්ම ලාංකීය අනන්‍යතාවය වෙනුවෙන් ඉමහත් උනන්දුවක් දක්වන බවයි.
ඔබ සියලු දෙනාට මම හිස නමා ආචාර කරමි.


පිටස්තරයාගේ සහ ඉන්දරේගේ කමෙන්‍ටුවෙන් පෙනෙන්නේ ඔවුහුත් මේ සම්බන්ධව යමක් දන්නා බවයි.
එකල පැවතී යයි සිතන ගෝත්‍ර 3 පිලිබද ඔබේ අදහස නිවරදි විය හැකි යයි මාද සිතමි.
සිංහල නම් වචනය පිලිබද ඔබ සියලු දෙනා පෙන්වා දුන් කරුණ නැවත විග්‍රහ කිරීම උච්ත යයි සිතමි.
කෙසේ වුවත් සිංහල ලෙස අද හදුන්වන ජන කොටස සැබවින්ම පැවත එනුයේ නැතහොත් ආරම්භ වූයේ විජයගෙන්මද?එසේ නම් අද සිංහල ලෙස හදුන්වන සියලු දෙනා පැවත එනුයේ මහා වොංසය විසින්ම කියන පරිදි එදා මහා තක්කඩියකු වූ,වංචාකාරයකු වූ,තම රටින්ද නෙරපා දැමූ විජය නම් දාමරිකයාගෙන්ම පමණක්ද?
එසේ නම් එදා සිටි රාවණ යුගයේ පටන් මෙරට ස්වදෙසිකයින්ව සිටි අනෙක් ගෝත්‍ර 3 ජනයාට සිදු වූයේ කුමක්ද?මහා වංසය නම් ඔවුන් සියලු දෙනා ඝාතනය කර ඉතා ලෙහෙසියෙන්ම එම පරිච්චේදය අවසන් කරයි.
 විජය එක් ‍රැයකින් ඝාතනය කළේ යක්ෂ ගෝත්‍රිකයින්වය.නාග සහ දේව ගෝත්‍රිකයින්ට එසේ සිදු නොවන්නට ඇත.වඩා ප්‍රායෝගික වන්නේද එයමය.මන්ද,එක් ‍රැයකින් රටක සිටින සියලු ගොත්‍රිකයින් එකෙක් නැර සමූල ඝාතනය කිරීම නොවිය හැක්කකි.අනෙක නම් ගෝත්‍ර තුනක් එකවිට එකතැන ‍රැස්වීම ගෝත්‍රවාදය පිළිබද බොහෝ බරපතල ලෙස අදද සලකන අප රට වැනි රටකින් අතීතයේවත් සිදු වීයයි බලාපොරොත්තු විය නොහැකි බව පෙනේ.


සිංහලයින් රාවණ රජුගෙන් පැවත එන බවට මාගේ අදහස ඉපදුනේ එතැනය.යක්ෂ ගොත්‍රිකයින් සමූල ඝාතනය කළේ යයි සිතුවද(මොහොතකට පමණක්) ඉතිරි නාග සහ දේව ගෝත්‍රිකයින් තම පරම්පරාවන් එලෙසම පවත්වාගෙන විත් ඇත.නියම සිංහලයින් නම් ඔවුන්ය.පසුව විජයගේ උදවිය සමග කලවම් වීමෙන් අද සිංහලයින් බිහි වී ඇති බව සිතීම කෙතරම් දුරට නිවරදි යයි තීරණය කිරීම තවත් පර්යේෂණ වලින් අනතුරුව සිදු කල යුත්තක් බව පිලිගනිමි.


ඔබ සියලු දෙනාගේ අදහස් වලට මාගේ ස්තුතිය.ඔබ කී ග්‍රන්ථ පරිසීලනයට උත්සාහ කරන්නෙමි.
ඔබගේ අදහස් මෙම මතය ලොවට ගෙනයාමටත්,සත්‍ය එලිකිරීමටත් මහත් පිටිවහලක් බව නැවත නැවතත් ගවුරවයෙන් සිහිපත් කරමි.

13 comments:

Lakshan said...

මා කියන දේ වැරදියට තේරුම් ගන්න එපා. සිංහලයින් රාවණ රජුගෙන් පැවත එනවා යැයි කියනවාට වඩා, සිංහලයන් රාවණ යුගයේ සිට පැවත එන්නන් කියල කියන එක හොඳයි නේද? ඇත්තෙන්ම රාවණ කියල කෙනෙක් හිටියද කියල දන්නෙ නැති නිසා.

වැප් said...

කොහෙම හරි මේ මතෘකාව කරලියට ආපු එක ගැන සතුටු වෙනවා

ඒත මම නම් කියන්නේ අපි අඳුරේ අතපත ගානවා කියලා ...

බැරිද අපිට ... පුරාවිද්‍යවට සම්බන්ද කෙනෙක් ගෙන් හෝ මේ ගැන දන්න කෙනෙක්ගෙන් හරියටම අහලා පිලිගන්න පුලුවන් සාක්ෂිත් එක්ක ලිපියක් දාන්න ...

milan said...

සෝලෝ පල කළ අදහස ඉතාම නිවරදිය.මාගෙද අදහස වූයේ එය මුත් මා ඒ සදහා භාවිත කළ වදන් වැල වැරදි බව මටද පෙනී ගියේ දැන්ය.
මාගෙන් සිදු වූ ප්‍රමාද දෝසයට සමාව අයදිමි.
මාගේ "සිංහලයින් පැවත එන්නේ විජයගෙන්ද?රාවණගෙන්ද?" යන ලිපියේ සහ ඊට පෙර ලිපිවලද සදහන් වී තිබීමට ඉඩ ඇති පහත අදහස ඊට පසු දැක්වෙන පරිදි නිවරදි කරගෙන බලන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

"""සිංහලයින් රාවණ රජුගෙන් පැවත එන බවට මාගේ අදහස ඉපදුනේ එතැනය."""

මෙය
"සිංහලයින් රාවණ රජුගේ කාලයේ පටන්(ඊටත් පෙර සිට) පැවත එන බවට මාගේ අදහස ඉපදුනේ එතැනය"

ලෙස නිවැරදි විය යුතුය.

සෝලෝ ගේ සියුම් දේ දැකීමේ වෙසෙස් හැකියාව අගය කරන අතර මා නිවැරදි මගට යොමු කිරීම සබැදිව ස්තුතිවන්ත වෙමි.

milan said...

චැප් ගේ අදහස ඉතාමත් වැදගත් ලෙස දකිමි.මේ සම්බන්ද දැනුම ඇති අයගේ සහබාගිත්වය ඉතා අගේ කොට සලකන අතර එයට ඔබ සියලු දෙනාටම විවෘත ආරාධනයක් කරනු කැමැත්තෙමි.
අදහස් උදහස් දක්වනු කැමති,නියම සිංහලකම අගයන,සත්‍ය සොයා යන,විචාරසීලී බුද්ධිමත් ඔබ සියලු දෙනාට මේ සම්බන්ධ ඔබේ අදහස් කුමක් වුවත් එය පල කරන ලෙස ගෞරවයෙන් ඇරයුම් කොට සිටිමි.
මෙය ලොවටම ගෙනහැර පැම මගින් ලාංකික අපගේ අනන්‍යතාවය පසක් කරලීම අපගේ අරමුණයි.
අදහස් දක්වනු කැමැත්තෝ සහභාගී වෙත්වා!

Amila Chathuranga said...

හූ ඔයාල දන්නෙ නැද්ද අපි කාගෙන්වත් පැවතෙන්නෙ නෑ ලන්කාව දූපතක් මේකෙ ඉන්නෙ හැම තැනින්ම චාටර් වෙලා පන්නපු සෙට් ගොඩක මික්ස් එකක්...අපේ එවුන් රූපෙන්වත් 1 සමාන නැත්තෙ ඒ නිසා....

උදිත සේනාරත්න said...

මිලාන් සහෝ.... ඔයා හෙළ ඉතිහාසය ගැන වෙනස්ම කෝණයකින් බලලා මේ ඉදිරිපත් කරලා තියෙන විග්‍රහය ඉතාම වටිනවා. මහා වංශය තුළින් කියවෙනවාට වඩා ප්‍රෞඪ හා පුරාණ ඉතිහාසයක් හෙළයට තියෙන බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මමත් මේ මාතෘකාව සම්බන්ධව මීට කලින් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා. "උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය" බ්ලොගය කියවලා බලන්න. ඒ වගේම මම හිතනවා රාවණ නම් මහා රජෙක් පුරාණ හෙළයේ රජකම් කළ බව. ඇත්තටම ලක්දිව වාසය කල ස්වදේශිකයන් මුලදී හෙළයන් නමින් හැඳින්වී පසුව සිංහලයන් වූ බවයි මගේ අදහස.

@ indi:
මේ රටේ ඉන්නේ හැමතැනකින්ම චාටර් වුණු සෙට් ගොඩක් මික්ස් එකක් කියල ඔයා කියන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔයාගේ අදහසට නම් මම එකඟ වෙන්නේ නැහැ සහෝදරයා. සිංහලයන්ට තමන්ටම ආවේනික වූ ශාරීරික ලක්ෂණ තියෙනවා. පසුකාලීනව බටහිර ජාතීන් සමග මිශ්‍ර වීම් සිදුවෙලා තියෙනවා. ඒක බොහෝ ආසියාතික රටවල් වලට පොදු කාරණයක්. ඒත් එහෙම මිශ්‍ර වීම් වුණා කියලා සිංහලයින් ගේ රූපකායේ සැලකිය යුතු වෙනසක් වෙලා නැහැ. ඒ වගේම අපේ රූපේ එක සමාන නැහැ කියල අපිට පේන්නේ අපි මේ රටේ මිනිස්සු නිසා. අපිට ජපානේ මිනිස්සු ඔක්කොම එක වගේ පෙණුනත් ජපන් ජාතිකයෙකුගෙන් ඇහුවොත් කියයි එයාලගේ රූපේ එකිනෙකාට වෙනස්, කිසිම කෙනෙක් රූපෙන් එක සමාන නැහැ කියලා.

Dasun Sameera - දසුන් සමීර said...

ඉතිහාසය වගේ විෂයක් ගැන කතා කරනකොට තමං කියන දේ ගැන හොඳ වගකීමකින් කතා කරන්න ඕන. කිනම් හෝ මතයක් සඳහා එළඹියේ කුමන පදනමක සිටද කියලා ඒත්තුගන්වන්න ඕන. නැතුව හිතට එන ආසා කරන දේවල් බ්ලොග් එකක ලිවීමෙන් වෙන්නේ ඉතිහාසයට හානියක් විතරයි. කෙසේ වෙතත් සත්‍ය ඉතිහාසය හැදෑරීමට ඔබට ඇති උවමනාව අගය කළ යුතුයි. රාවන ගැන කරපු ලිපියක් මෙතන තියනවා http://ent.mrt.ac.lk/~040119/study/IMAGES/Independant_Study_Report.pdf

(පැරණි සිංහළයේ රාවණ ලියා ඇත්තේ රාවන ලෙසයි ඒ නිසයි එසේම යෙදුවේ)

රාවන කියල කෙනෙක් හිටියද කියල සැක කරන කාටත් ඉහත ලිපිය ගොඩක් ප්‍රොයෝජනවත් වේවි.

මේ මගේ දැනීම මත දැනට ඉන්න පුද්ගලික අදහස් ටිකක්
අපේ ඉතිහාසය රාවනා යුගයටත් පෙරට දිවයනවා. විජය වංශකතාවලින් හැර වෙන කිසිදු දේකින් සිටියා කියලා ඔප්පු කරන්න බෑ. තරු බලි වගේ ගොඩක් පැරණි රජවරු ගැන ජනප්‍රවාදයේ කියවෙනවා. විජයට පෙර යුගයේ(මහාවංශයේ එන නිර්මාණාත්මක නපුංශක සත්වයා බුද්ධ පරිනිර්වාණයට සමකාලීනයි - http://dasunsameera.blogspot.com/2010/06/mahawanshaya.html) එහෙමත් නැත්තන් ක්‍රි.පු. 900වන යුගයේ සෙල්ලිපි පවා අපට හමුවෙලා තියනවා. ඒ කියන්නේ බුද්ධ කාලයටත් අවු 300කට පෙරයි.ලොව පැරණිම බ්‍රාහ්ක්මීය අක්ෂර හමුවන්නේ අපේ රටින්. ලොව වැඩිම බ්‍රාහ්ක්මීය අක්ෂර ඇති සෙල්ලිපි තියෙන්නේත් අපේ රටේ. (මේ අක්ෂරවලට බ්‍රාහ්ක්මීය කියල නම දැම්මේ කවරුද දන්නෑ :D) මේ කාරනා ගැන ඉදිරියේදී සවිස්තරව ලියවේවි.

Lakshan said...

මිලාන් සහෝදරයට අදහසක් දෙන්නද? වාල්මිකී ඕක ලිව්ව වගේ කොටසින් කොටස ලස්සන කතාවක් නිර්මාණය කලොත් මොකද? කවුරුත් සාහිත්‍යය ඉතිහාසය සමඟ පටලවාගතයුතු නෑ.

පිටස්තරයා-2 said...

ඔය ගොල්ලන්ගේ සාකච්ඡාව ගැන මම ගොඩක් උනන්දුයි. මේ වෙලාවේ වැඩි කාලයක් ගතකරන්න අපහසු තත්ත්වයක් පවතින නිසා මගේ සටහන් කෙටියෙන් ලියනවා.

@මිලන්

//නියම සිංහලකම අගයන//

මේකෙන් මොකක්ද ඔයා අදහස් කරන්නේ? භාෂාව ද? සංස්කෘතියද? මානව වර්ගයක් ලෙස සිංහලයන්ගේ අනන්‍යතාව ද?

//මෙය ලොවටම ගෙනහැර පැම මගින් ලාංකික අපගේ අනන්‍යතාවය පසක් කරලීම අපගේ අරමුණයි.//

ලාංකික අනන්‍යතාවය 'සිංහල' එකක් විතරද මල්ලි?

@ උදිත සේනාරත්න

//මම හිතනවා රාවණ නම් මහා රජෙක් පුරාණ හෙළයේ රජකම් කළ බව//

ලංකාවේ කිසියම්ම හෝ මූලාශ්‍රයකින් මේ පුද්ගලයා ගැන තොරතුරු එනවද?

ඉන්දියාවේ ලියැවුණු රාමායනයේ කියැවෙන 'ලංකා' යන්න මේ අපි කතා කරන රටම ද කියන එක ගැනත් ඉන්දියානුන් අතර පරස්පර අදහස් තියෙනවා නේද? මේ තත්වය යටතේ පළමුවෙන්ම කරන්න ඕන රාමායනයේ එන 'ලංකා' යන්න නිෂ්චිතවම මේ ඔබ කතා කරන රටමයි කියා සැකයෙන් තොරව ඔප්පු කිරීම නේද?

රාවණ රජු දෙමළ කෙනෙක් කියා දෙමළ ලාංකීය ඉතිහසයක් ලියන සමහරු හිතනවා. දැන් මතුවන ප්‍රශ්නය තමයි රාවණාව ඉස්සෙලාම සිංහලයෙක් කර ගැනීම. රාවණා ජීවත් වුණේ කොයි කාලයේද? ඒ වෙනකොට සිංහල බස කියා හඳුන්වන බස සකස් වී තිබුණා ද? මොනවා ද ඒකට ඇති සාධක?

//සිංහලයන්ට තමන්ටම ආවේනික වූ ශාරීරික ලක්ෂණ තියෙනවා. පසුකාලීනව බටහිර ජාතීන් සමග මිශ්‍ර වීම් සිදුවෙලා තියෙනවා.//

මේ ලියන මම කලක් හිටියේ ඉන්දියාවේ. ලංකාවේ අය 20ක් විතර අපිත් එක්ක මෙහෙ හිටිය. අපි කාවවත් මෙහෙ මිනිස්සු ලංකාවේ අය කියා අඳුණගත්තේ නෑ. කොහේ ගියත් අපිට සැලකුවේ කේරල හෝ දෙමළ කියායි. පුරාවිද්‍යා ස්ථානවලදි විදේශිකයෝ US $ 5ක් ගෙවන්න ඕන. ඒත් අපි ගෙව්වේ ඉන්දියන් රුපියල් 10 ක් විතරයි. ඒ අපිව දකුණු ඉන්දියානුවො කියල සැලකෙන නිසා. කිසිදාක ප්‍රශ්නයක් වුණේ නෑ.

ඒ ගැන ඔයා හිතන විදිය දැනගන්න කැමතියි.

@ Dasun Samira - දසුන් සමීර

//ඉතිහාසය වගේ විෂයක් ගැන කතා කරනකොට තමං කියන දේ ගැන හොඳ වගකීමකින් කතා කරන්න ඕන.//

මසුරං කියමනක්.. :)

//ක්‍රි.පු. 900වන යුගයේ සෙල්ලිපි පවා අපට හමුවෙලා තියනවා.//

මම දැනහිටියේ ලංකාවෙන් හමුවෙලා ඇති පැරණිම බ්‍රාහ්මී ලේඛන ක්‍රි.පූ. 500 ට පමණ අයත් බවයි. ඒ දැරණියගල විසින් අනුරාධපුර ඇතුල් නුවරින් සොයාගත් බ්‍රාහ්මී අක්ෂර කීපයක් සහිත මැටි බඳුන් කැබැල්ල. දිනය තීරණය කර ඇත්තේ කාබන් 14 (Radio Carbon) ලෙස හඳුන්වන විද්‍යාත්මක ක්‍රමයට. ඉහතින් ඔයා කියල තියෙන සෙල්ලිපි ලැබී ඇත්තේ කොහෙන්ද කියාත් දිනය තීරණය කළ ක්‍රම වේදය සහ එයට සම්බන්ධවුණු උගතුන් ආදිය ගැන කියනවා නම් ස්තූතිවන්ත වෙනවා.

මේ ඇර තමිල්නාඩුවේ ආදිච්චනල්ලූර් කියන ප්‍රදේශයෙනුත් මේ ආකාරයටම බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි හමුවෙලා තියෙන අතර ඒවායේ කාලයත් අනුරාධපුරයෙන් හමුවුණු අක්ෂරවල කාලයට සමානයි (ක්‍රි.පූ. 500 ට). දිනය තීරණය කර ඇත්තේත් කාබන් 14 ක්‍රමයටමයි.

//මේ අක්ෂරවලට බ්‍රාහ්ක්මීය කියල නම දැම්මේ කවරුද දන්නෑ //

ඒකනං කළේ ඉන්ග්‍රීසීන්. ඒ මේ අකුරු මුලින්ම 1837 විතර දී ජේම්ස් ප්‍රින්සෙප් නැමැති කල්කටා හී සේවය කළ ඉන්ග්‍රීසි සුළු නිළධාරියා විසින් හඳුණා ගත්තට පස්සේ. එහෙම නැතිව මේව ලියපු අයනම් හීනෙකින් වත් එහෙම නමක් පාවිච්චි කරන්න නැතිව ඇති.

පහත මම සින්දුවක ලින්ක් එකක් දානවා. ඒ සිදුවෙන් කියන්න හදන්නේ දෙමළ භාෂාවේ ප්‍රෞඪත්වය ගැන. ඒකේ මුල් රූප රාමු කීපය තුළ ඔයාලට දකින්න ලැබෙයි ලංකාවේ වගේම දකුණු ඉන්දියාවෙත් ළෙන් ලිපි ඇති බව සහ ඒවාත් ලියා ඇත්තේ බ්‍රාහ්මී අක්ෂරයෙන් බව.

http://www.youtube.com/watch?v=lRITPjraXgA

මේ මතු කරල තියෙන ප්‍රශ්නත් ඔයාලගේ සාකච්ඡාවට ගනියි කියල හිතනවා... :)

පිටස්තරයා-2 said...

http://ent.mrt.ac.lk/~040119/study/IMAGES/Independant_Study_Report.pdf

දසුන් සමීර දක්වා ඇති මේ ලින්ක් එකේ ඇති ලිපිය කියෙව්වා. ඔයාල සාක්ච්ඡාකරන මාතෘකාවට කෙලින්ම අදාලවන නිසා ඒ ලිපිය ඔයාලත් කියවලා ඒකෙන් මතුවන ප්‍රශ්න සාකච්ඡාවට ගන්නවානම් ගොඩාක වැදගත් වෙයි. යෝජනාවක් විතරයි...:)

milan said...

දෙවෙනි පිටස්තරයා අපගේ රාවණා මාතෘකාව සම්බන්දව දක්වන උනන්දුව ඉතා අගය කර සිටිමි.ඔබ මතු කළ ප්‍රස්න සාකච්චා කිරීමට ඉතා උවමනාවෙන් සිටියත් වයිරස උණ වැළදී මරණාසන්නව වැද හොත්නා බැවින් එය දැන්ම සාකච්චාවට බදුන් කිරීමට අපහසුබව දන්වන්නේ ඉතා කණගා‍ටුවෙනි.ඉතා ඉක්මණින් හැකි වුවහොත් මරුවාගෙන් ණයට කාලය ටිකක් ඉල්වා ගත හැකි වුවහෙත් නුදුරු දිනකදී ඉතිරිය කතා කිරීමට එන්නෙමි.මා එනතෙක් මේ හා සම්බන්ද වූ,මේ පිළිබද උනන්දුවක් ඇති අන් අය මෙම සාකච්චාව නොකඩවා ඉදිරියට ගෙන යනු ඇතැයි තරයේ අපේක්ෂා කරමි.
ගැත්තාට කමාවන සේක්වා

පිටස්තරයා-2 said...

හොඳින් විවේක අරං සනීප වෙන්න.. :)

milan said...

thank u pitastharaya 2.i'll b back soon.

Post a Comment

 
believer - by Templates para novo blogger